නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මැදින් මස 23 වන ගුරු දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා බක් මස 23 වන රිවි දින ද නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානයට
බක් මස 12 වෙනි බුධ දින කොහොඹපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
පුණ්‍ය කාලය ආරම්භය
බක් මස 14 වන කිවි දින පූර්ව භාග 08 විනාඩි 35 ට පුණ්‍ය කාලය ආරම්භ වේ.
අළුත් අවුරුදු උදාව
බක් මස 14 වන කිවි දින අපර භාග 02 විනාඩි 59 යි ට සිංහල අළුත් අවුරුද්ද උදා වේ.
ආහාර පිසීම
බක් මස 14 වන කිවි දින අපර හාග 03 විනාඩි 29 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරනයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොළවා දී කිරි, මිශ්‍ර කිරිබතක් ද තල හා විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිලියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම, ආහාර අනුභවය
බක් මස 14 වන කිවි දින අපර භාග 05 විනාඩි 05 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කර ආහාර අනුභව කිරීම මැනවි.
පුණ්‍ය කාලය අවසානය
බක් මස 14 වන කිවි දින අපර භාග 09 විනාඩි 23 න් පුණ්‍ය කාලය අවසන් වේ.
බක් මස 16 වන රිවි දින පූර්ව භාග 09 විනාඩි 41 ට රතු හා කහ මිශ්‍ර (තඔ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල් පත් ද, පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
රැකිරක්ෂා සඳහා පිටත්ව යාම
බක් මස 17 වන සදු දින පූර්ව භාග 06 විනාඩි 28 ට ශ්වේත පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දී කිරි මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම මැනවි.
පැළ සිටවීම
බක් මස 20 වන ගුරු දින පූර්ව භාග 06 විනාඩි 38 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටවීම මැනවි.